මද්‍යසාර අවභාවිතය

මද්‍යසාර යනු මොළය, අස්ථි හා හෘදය ඇතුළු ඔබේ සිරුරේ ඇති සියලු අවයව වලට පුළුල් පරාසයක අහිතකර බලපෑම් සිදු කළ හැකි ප්‍රබල රසායනික ද්‍රව්‍යයකි. මද්‍යසාර භාවිතය හා ඒ සම්බන්ධ අවදානම් නිසා කෙටි කාලීන හා දීර්ඝ කාලීන යන දෙයාකාරයේම ප්‍රතිවිපාක ඇතිවිය හැක.

මද්‍යසාර භාවිතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක

මද්‍යසාර භාවිතයේ කෙටි කාලීන ප්‍රතිවිපාක කෙටියෙන් පහත දක්වා ඇත. මෙම තොරතුරු ඔබට මත්පැන් දරාගැනීමට සාමන්‍ය මට්ටමේ හැකියාවක් ඇති බව උපකල්පනය කර සපයා ඇත.

මත්පැන් වැඩි ප්‍රමාණයක් දරාගැනීමේ හැකියාව ඇති මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අයට බොහෝ විට සැලකිය යුතු බලපෑමකින් තොරව වැඩි මත්පැන් ප්‍රමාණයක් පානය කළ හැක.

ඒකක 1 සිට 2 දක්වා මද්‍යසාර ඒකක 1 සිට 2 දක්වා ප්‍රමාණයක් පානය කිරීමෙන් අනතුරුව, ඔබේ හදගැස්ම වේගවත් වීම හා රුධිර වාහිනී විස්තාරණය වීම සිදුවන අතර, එනිසා මත්පැන් මඳක් පානය හා බැඳුණු උණුසුම් හැඟීම, සමාජශීලී බව හා තොරතෝංචියක් නැතිව කතා කරන ගතිය ඇතිවේ.

ඒකක 4 සිට 6 දක්වා ඒකක 4 සිට 6 දක්වා මද්‍යසාර ප්‍රමාණයක් පානය කිරීමෙන් පසු, ඔබේ මොළය හා ස්නායු පද්ධතියට බලපෑම් ඇතිවීම ආරම්භ වේ. ඔබේ මොළයේ විචාර බුද්ධිය හා තීරණ ගැනීමට අදාළ ප්‍රදේශයට බලපෑම් කිරීම ආරම්භ වන අතර, එනිසා ඔබ වඩාත් නොසැලකිලිමත් හා අදූරදර්ශී වෙයි.

මද්‍යසාර ඔබේ ස්නායු පද්ධතියේ සෛලවල ක්‍රියාකාරිත්වයද අඩපණ කරන අතර, එමගින් ඔබට කැරකිල්ල ඇති කරවන අතර ඔබේ ප්‍රතිචාර කාලය හා සම්බන්ධීකරණ හැකියාව කෙරෙහි අනිසි බලපෑම්ද ඇති කරයි.

ඒකක 8 සිට 9 දක්වා මද්‍යසාර ඒකක 8 සිට 9 දක්වා ප්‍රමාණයක් පානය කිරීමෙන් අනතුරුව, ඔබේ ප්‍රතිචාර කාලයන් වඩාත් අඩු වන අතර, ඔබේ වචන එක දිගට පිටවීම නිසා කතාව අපැහැදිලි වීම හා පෙනීම අපැහැදිලි වීම ඇරඹේ.

මද්‍යසාර ඔබේ සිරුරෙන් පෙරා ඉවත් කරන අක්මාවට, එය රාත්‍රියේ මුළුල්ලේ නිම කර ගැනීමට නොහැකි වීම නිසා ඊළඟ උදයේත් අසනීප ගතියක් (hangover) දැනීමට ඉඩ ඇත.

ඒකක 10 සිට 12 දක්වා මද්‍යසාර ඒකක 10 සිට 12 දක්වා ප්‍රමාණයක් පානය කිරීමෙන් අනතුරුව, ඔබේ සම්බන්ධීකරණ හැකියාව ඉතාමත්ම අඩු වන අතර, එමගින් ඔබට අනතුරු වලට බඳුන් වීමේ බරපතල අවදානමක් ඇති වේ. අධික මද්‍යසාර සාන්ද්‍රණය, ඔබේ සිරුර හා මනස යන දෙකේම ක්‍රියාකාරිත්වය අඩු කරන අතර එමගින් ඔබට නිදිබර ගතියක් ඇති කරවයි.

මෙවැනි මද්‍යසාර ප්‍රමාණයක් නිසා මද්‍යසාර විෂවීමේ මට්ටමට ළඟා වීමට ආරම්භ වේ. ඔබේ සිරුර මද්‍යසාර මුත්‍රා හරහා ඉක්මනින් පෙරා යැවීමට උත්සාහ කරයි. මෙනිසා ඔබට උදෑසන දරුණු විජලන තත්ත්වයක් දැනිය හැකි අතර, එනිසා අධික හිසරදයක් ඇති විය හැක.

ඔබේ සිරුරේ ඇති අතිරික්ත මද්‍යසාර ප්‍රමාණය නිසා ජීර්ණ ක්‍රියාවලියද අවුල් සහගත විය හැකි අතර එය ඔක්කාරය, වමනය, පාචනය සහ අජීර්ණය වැනි රෝග ලක්ෂණ ඇති විය හැක.

ඒකක 12ට වැඩි ඔබ මද්‍යසාර ඒකක 12ට වඩා පානය කළහොත්, ඔබට මද්‍යසාර විෂ වීමේ සැලකිය යුතු අවදානමක් ඇති වේ. ඔබ වැඩි ඒකක ප්‍රමාණයක් අඩු කාලයක් තුළ පානය කරන්නේ නම් එය තවත් වැඩි වේ.

එක් මද්‍යසාර ඒකකයක් සිරුරෙන් ඉවත් කිරීම සඳහා අක්මාවට පැයක් පමණ කාලයක් ගත වේ. අධික මද්‍යසාර සාන්ද්‍රණයන් සිරුරේ ස්වයංක්‍රීය ක්‍රියාවලිවලට බාධා ඇති කිරීමට ඇරඹීම නිසා මද්‍යසාර විෂ වීම ඇති වේ, ඒවා නම්:

  • ශ්වසනය
  • හෘද ස්පන්දනය
  • ඔබේ උගුරේ යමක් සිරවීම වළක්වන ප්‍රතීක ක්‍රියාව

මත්පැන් විෂවීම නිසා පුද්ගලයන් කෝමා තත්ත්වයට පත්වීම හා මරණයට පත් වීම සිදු විය හැක.

වෙනත් අවදානම් මද්‍යසාර අවභාවිතය හා බැඳුණු වෙනත් අවදානම් කිහිපයක් නම්:

  • හදිසි අනතුරු හා තුවාල
  • ප්‍රචණ්ඩත්වය හා සමාජ විරෝධි හැසිරීම
  • අනාරක්ෂිත ලිංගික හැසිරීම් - මෙනිසා අනවශ්‍ය පිළිසිඳගැනීම් හා ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (STI) ඇති විය හැක
  • පෞද්ගලික බඩු බාහිරාදිය නැතිවීම - බොහෝ අය බීමත් වූවිට මුදල් පසුම්බි හෝ ජංගම දුරකථන වැනි පෞද්ගලික බඩු බාහිරාදිය නැති කර ගනී
  • බලාපොරොත්තු නොවූ රාජකාරි නිවාඩු සහ පාසැල් නොපැමිණීම් - මෙනිසා ඔබේ රැකියාව හා අධ්‍යයන කටයුතු අවදානමට ලක් වේ

මද්‍යසාර අවභාවිතයේ දීර්ඝකාලීන ප්‍රතිවිපාක

අවුරුදු ගණනක් තිස්සේ විශාල ප්‍රමාණයෙන් මත්පැන් පානය කිරීම සිරුරේ අවයව සෑහෙන ගණනකට බලපෑම් ඇති කරන අතර ඉන්ද්‍රිය හානි වලට හේතු විය හැක. දීර්ඝකාලීන මත්පැන් අවභාවිතය නිසා හානි වන බවට තහවුරු වී ඇති ඉන්ද්‍රියයන් අතර මොළය හා ස්නායු පද්ධතිය, හෘදය, අක්මාව හා අග්න්‍යාශය වේ.

අධික මත්පැන් පානය ඔබේ රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ප්‍රමාණයද ඉහළ නැංවීමට හේතු වන අතර, එම සාධක දෙකම හෘද රෝගවලට හා ආඝාතයට හේතු වේ.

දීර්ඝ කාලීන මත්පැන් පානය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය අඩපණ කරන අතර, එනිසා ඔබට බරපතල ආසාදන ඇති වීමේ හැකියාව වැඩි වේ. එමගින් ඔබේ අස්ථි දුර්වල විය හැකි අතර, එනිසා අස්ථි දුර්වල වී බිඳී යාමට වැඩි අවදානමක් ඇති වේ.

මත්පැන් අවභාවිතය හා බැඳුණු දීර්ඝකාලීන සෞඛ්‍ය අවදානම් රැසක් ඇත. ඒවා නම්:

ඔබේ සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීම මෙන්ම, මද්‍යසාර අවභාවිතය නිසා දීර්ඝකාලීන සාමාජයීය ගැටලුද ඇති විය හැක. උදාහරණ වශයෙන්:

  • පවුල් බිඳී යාම හා දික්කසාද
  • ගෘහස්ථ හිංසනය
  • විරැකියාව
  • අවතැන් වීම
  • මූල්‍ය ගැටලු

කින්ඩ්ලින්ග් (kindling)

කින්ඩ්ලින්ග් (Kindling) යනු මද්‍යසාර භාවිතය අඩු කිරීමේ පියවර කීපයකින් පසු ඇති විය හැකි ගැටලුකාරී සංසිද්ධියකි. මත්පැන් පානයෙන් වැළකීම නිසා ඇතිවන රෝග ලක්ෂණ (withdrawal symptoms) මත්පැන් පානයෙන් වළකින සෑම අවස්ථාවකදීම වැඩියෙන් ඇති විය හැකි අතර, වෙව්ලීම, කලබලකාරී බව හා වලිප්පුව ඇති වීමට හේතු විය හැක.

මද්‍යසාර සතුව මොළය හා මධ්‍ය ස්නායු පද්ධතිය අඩපණ කිරීමේ හැකියාවක් ඇත. එමනිසා ශරීරයෙන් මද්‍යසාර ඉවත් කළ විට, එය මොළයේ සෛල හා ස්නායු සෛල සක්‍රිය කරන අතර, ඒවා අධි සක්‍රිය තත්ත්වයකට පත් වන බව පර්යේෂණ මගින් සොයාගෙන ඇත. මෙනිසා වලිප්පුව වැනි චර්යාත්මක රෝග ලක්ෂණ ඇති විය හැක.

මද්‍යසාර සීමා කිරීමේ පියවරක් පාසා, මොළය හා ස්නායු පද්ධතිය තවත් සංවේදී වන අතර ප්‍රතිඵල වන අනිටු විපාක වඩාත් ඉස්මතු වීමට පටන් ගනී.

අපස්මාරයට දෙන ඖෂධ වැනි මොළයට හෝ ශරීරයට සිදුවන රසායනික උත්තේජනයක් නිසාද මෙම කින්ඩ්ලිං (kindling) තත්වය ඇති විය හැක. මෙහි අදහස නම්, යම් පුද්ගලයෙකු සඳහා වන මත්පැන් පානය අඩු කිරීමේ වැඩසටහන් ප්‍රවේශමෙන් සකස් කළ යුතු බව හා එහි බලපෑම් සම්බන්ධව සමීප අධීක්ෂණයකින් යුක්තව කළයුතු බවයි.

මද්‍යසාර විෂවීම: කළ යුතු දේ

මද්‍යසාර විෂවීමේ ලක්ෂණ නම්:

  • මානසික ව්‍යාකූලත්වය
  • වමනය
  • වලිප්පුව
  • ශ්වසන වේගය අඩු වීම
  • සුදුමැලි හෝ නිලට හුරු සම
  • සීතල හා තෙත් ගතියෙන් යුත් සම
  • සිහිමුර්ජාව

ඔබ මද්‍යසාර විෂවීමක් සැක කරන්නේ නම් ගිලන් රථයකට කතා කරන්න. වමනය මගින් පුද්ගලයාගේ හුස්ම සිරවිය හැකි නිසා වමනය කරවීමට උත්සාහ කිරීමෙන් වළකින්න. හුස්ම සිරවීම වැළැක්වීම සඳහා, ඔවුන්ව පැත්තකට හරවා හිස යටින් කොට්ටයක් තබන්න.

යමෙකුට සිහිය නැති වී ගෙන යයි නම්, "නිදා වැටීමට" ඉඩ නොදෙන්න. රුධිර මද්‍යසාර මට්ටම් අවසන් මත්පැන් පානයෙන් විනාඩි 30 සිට 40 දක්වා කාලයක් ගත වන තුරු වැඩි විය හැකි අතර, රෝග ලක්ෂණ නරක අතට හැරිය හැකිය.